මම රඟපෑ චරිතවල ‘වීණා’ නැහැ ප්‍රවීණ රංගන ශිල්පිනී – වීණා ජයකොඩි
ඇය ශ්‍රී ලාංකේය කලා කෙත අස්වැදූ ප්‍රතිභා පූර්ණ සිනමා තාරකාවක් වූවාය; ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වූවාය. වේදිකාව ද ඇයගෙන් දීප්තිමත්බවක් ලැබුවේය. අක්බමරු කෙහෙ රැල්ලත්, කුඩා එහෙත් තීක්ෂණ දෑසත්, සෘජු නාසයත් ඇයට ගෙන ආවේ මනස්කාන්තබවකි.ඇගේ යොවුන් භාවයෙන් ජීවය ලැබූ ඉතිහාසගත සිනමාපට ලාංකේය සිනමා වංශකතාවේ හිඟ නොවේ.
ඇයගේ සිනමා වංශකතාව දශක හතකටත් වඩා දිගුය.ඇගේ මව වූ රෝහිණී ජයකොඩි ප්‍රවීණ රංගන ශිල්පිණියගේ සුලැගිල්ලේ එල්ලී ඇය සිනමාවට පා තැබුවේ 1954 දී තිරගත වූ “අහංකාර ස්ත්‍රී” සිනමාපටයෙනි. එම සිනමාපටයේ කුඩා චරිතයකින් ළමා නිළියක ලෙස ක්ෂේත්‍රයට ප්‍රවේශ වූ ඇය පසුව, මිනිසුන් අතර මිනිසෙක්, සරුංගලේ, මුවන්පැලැස්ස, තවලම,සාගරයක් මැද, කෙළි මඬල, සිසිල ගින ගනී,පවන රළු විය, අනන්ත රාත්‍රිය, දොරකඩ මාරාව, ජුලියා, කන්දක් සේ මා, මදර් තෙරේසා වැනි සිනමාව තුළ මුද්‍රා සලකුණු තැබූ බොහෝ සිනමාපට සඳහා දායක වූවාය.
බොහෝ රංගනය ශිල්පීන් ශිල්පිනියන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය හරහා සිනමා ක්ෂේත්‍රයට පිවිසිය ද ඇය, පුළුල් තිරය හරහා පුංචි තිරයට පිවිසි රංගන ශිල්පිනියකි.1990 දශකයේ මුල් භාගයේ පුංචි තිරයේ විකාශය වූ සුමීත්‍රා රාහුබද්ධයන්ගේ”සුර අසුර” නවකතාව ඇසුරින් නිර්මිත” සුර අසුර” රූපවාහිනි ටෙලි වෘත්තාන්තය එවකට සමාජය තුළ මහත් ආන්දෝලනයක් සහ සහකම්පනයක් ඇති කළ සුවිශේෂී නර්මාණයකි. ඇය එහි රඟදැක්වූයේ ද්‍රවිඩ වෛද්‍යවරියකගේ චරිතයකි. භාව භාව ප්‍රකාශනය තුළින් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ නොමැකෙන සටහනක් තැබීමට එහිදී වීණා ජයකොඩි නම් වූ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනිය නිරායාසයෙන්ම සමත් වූවාය.
අත්ත බිඳෙයි, දූ දරුවෝ, කන්දේ ගෙදර, කුලවිලෝකනය, ලාබයි ඇපල්, මැණික් නදිය ගලා බසී, රුවට රුව, සුදු ඇඳගෙන කළු ඇවිදින්, සුදු කපුරු පෙති, ගඟ අද්දර, අමරපුර ආදී වූ ටෙලිනාට්‍ය රැසකට ඇය රංගනයෙන් දායක වී තිබේ. ඇය සරසවිය, ජනාධිපති, සුමති, ස්වර්ණ සංඛ, ර්‍ණඛ්ධ්ඛ් ආදී වූ ලාංකේය සම්මාන උළෙල රාශියක දී සම්මානයෙන් පිදුම් ලැබුවාය.මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ප්‍රිසිලා ගොඩහේවා විසින් රචිත “ජැෆ්නාදරය” නම් නවකතාව ඇසුරෙන් නිර්මිත “ජැෆ්නාදරය” ටෙලි නාට්‍යයේ ඇය රමේෂ් නම් ද්‍රවිඩ තරුණයාගේ මව ලෙස සකම්පනීය චරිතයකට දායක වෙයි. වත්මන වන විට වඩා වැඩි නිහඬතාවයකින් කාලය ගෙවන, වීණා ජයකොඩි ප්‍රතිභා පූර්ණ රංගවේදනිය සමඟ සරසවිය කළ කතා බහයි මේ.
මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
පහුගිය දවස්වල ජැෆ්නාදරයේ රූගත කිරීම් කෙරුණා. මේ වෙනකොට මගේ කොටස්වල රූපගත කිරීම් අවසානයි. පහුගිය කාලය නම් ජැෆ්නාදරය ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් එක්ක තමයි ගෙවුණේ.මේ දවස්වල මම වෙනත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා නැහැ . සිනමාපට භාර ගත්තෙත් නැහැ.දැන් ඉතින් ටිකක් විවේක සුවයෙන් ඉන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. මොකද, මම අවුරුදු ගාණක්ම එක දිගට කලාව වෙනුවෙන් මගේ ජීවිතය වැඩි වශයෙන් කැප කළා; විවේකයක් පවා නොලබා.ඉතින් දැන් මට හිතෙනවා,මට ගැලපෙන හොඳ චරිතයක් ලැබුණොත් විතරක් භාර අරගෙන බොහොම සැහැල්ලුවෙන් සතුටින් මේ කාලය ගත කරන්න ඕනේ කියලා.ජැෆ්නාදරයට කතා කරපු වෙලාවෙත් ඇත්තටම මම මුලින්ම බැහැ කිව්වා. නමුත් රංග (රංග ප්‍රේමරත්න) දිගින් දිගටම ඒ ඉල්ලීම කරපු නිසාත් පිටපතේ මගේ චරිතය පිළිබඳව මට කැමැත්තක් ඇතිවුණු නිසාත් පස්සේ මම ඒ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න තීරණය කළා.
සිනමාවට සහ ටෙලි නාට්‍යවලට දායක නොවුණත් මම මේ දවස්වල අලුත් “උරුවිසි” වේදිකා නාට්‍ය එක්ක නම් සම්බන්ධ වෙලා ඉන්නවා. උරුවිසි කියලා කියන්නේ මම අවුරුදු හතළිහක් විතර කාලෙක ඉඳන් සම්බන්ධ උන වේදිකා නාට්‍යයක්.මේ නාට්‍යය කීරගලආරච්චිගේ නිරමාණයක්.නව උරුවිසි නාට්‍යයේ වෙනස්කම් කිහිපයකුත් අපි කළා කාලානුරූපීව. ඉස්සර නම් පැය දෙකහමාරක් පමණ මේ නාට්‍යය දිගයි. දැන් අපි ඒක පැය එකහමාරකට පමණ කෙටි කරලා තියෙනවා.ඒ වගේම රංගන ශිල්පීන්ගේ ප්‍රමාණයත් යම් පමණකට අඩු කිරීමක් කලා.චරිත අඩු කලේ නැහැ; එක රංගන ශිල්පියකු චරිත දෙකක් නිරූපණය කරන ආකාරයට නව නාට්‍යය සකස් කළා. මොකද,මේ කාලයේ දී රංගන ශිල්පීන් විශාල ප්‍රමාණයක් දායක කරගෙන වේදිකා නාට්‍යයක් කරන්න හරිම අපහසුයි පවතින ආර්ථික ප්‍රශ්නත් එක්ක.
මෙය දිගු කාලයක් පුරා වේදිකා ගතවුණු නාට්‍යයක්.කලින් මේ නාට්‍යයේ උරුවිසිගේ චරිතය නිරූපණය කළේ මම.ඒ සඳහා මට සම්මානයකුත් ලැබිලා තියෙනවා.නමුත් දැන් මම රඟපාන්නේ උරුවිසිගේ චරිතය නෙමෙයි; රාජ කුමාරිගේ චරිතය.
ජැෆ්නාදරය ටෙලි නාට්‍යයේ පසුගිය දා විකාශනය වූ එක් දර්ශනයක් ප්‍රේක්ෂකයින්ගේ සිතේ විශාල සහකම්පනයක් ඇතිකළා. ඒ තමයි රමේශ්, රුවිනි සහ ඔබ, පවතින ගැටලුව ගැන කතා කරන මුල් අවස්ථාව. ඒ රූප රාමුව ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඔව්. ඇත්තටම ඒ තත්ත්වයේ ඉන්න අම්මා කෙනෙකුට ඒ අවස්ථාව විශාල කම්පනයක් ඇති කරන අවස්ථාවක් තමයි. ජනවර්ගික අර්බුදය තමන්ගේ පෞද්ගලික ජීවිතවලට එක එල්ලේ බලපාලා තියෙන අවස්ථාවක තමන්ගේ එකම පුතා සිංහල ගැහැනු ළමයකු හා සම්බන්ධකමක් පවත්වනවා කියලා කියන එකම ද්‍රවිඩ අම්මා කෙනෙකුට දරාගන්න බැරි වෙන සිදුවීමක්. ඒක තවත් තීව්‍ර වෙන්නේ දෙමළ සිංහල කෝලාහල අවස්ථාවේ දී ඒ අමිහිරි අත්දැකීම් ඒ අම්මා තමන්ගේ සියැසින්ම දැකලා විඳවලා තියෙන නිසා.දෙමව්පියන්ගේ සිත්වල සමහර දේවල් තියෙනවා දරුවන්ට මුවින් කියන්න බැරි.ඒ දේවල් ඒ වගේ අවස්ථාවක අංගචලනයෙන් තමයි කියවෙන්නේ. මේ අවස්ථාවත් ඒ වගේ අවස්ථාවක්.ඒ අම්මා හුඟාක් දේවල් හිතුවට, බොහොම පොඩි දෙයයි දරුවන්ට කියන්නේ.ඇය දරුවන්ට පෙන්වන බිය වගේ සිය දහස් ගුණයක බියක් ඇගේ හිතේ තියෙනවා. නමුත් ඇය ඇගේ පුතාට අසීමාන්තිකව ආදරෙයි. ඇය කිසිසේත්ම තමන්ගේ පුතාව අහිමි කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා පුතාගේ ආදරයට අකුල් හෙලන්න විරුද්ධ වෙන්න ඇයගේ හිත ඇයට ඉඩ දෙන්නේ නැහැ. මෙන්න මේ අන්ත දෙක අතර තමයි අම්මා කෙනෙක් විදිහට ඇය දෝලනය වෙන්නේ.දරුවන්ට තියෙන ආදරය නිසා මේ ලෝකේ අම්මලා හුඟාක් දුක් විඳීනවා. ඒක තමයිඇත්ත. ඒ අවස්ථාවත් වඩාත් කම්පනීය අවස්ථාවක් වෙන්නේ අන්න ඒ නිසයි.
නමුත් මම රංගන ශිල්පිනියක් විදිහට විශේෂ වෙහෙසක් ගත්තේ නැහැ එම දර්ශනය සඳහා.මම හැම වෙලාවෙම චරිතයක් නිරූපණය කරනකොට හිතන්නේ එතන ඉන්න චරිතය ගැනයි. මම නිරූපණය කරපු කිසිම චරිතයක විණා ජයකොඩි හිටියේ නැහැ. එතන ඉන්නේ අදාළ චරිතය පමණයි. මේ රූප රාමුවේ ඉන්නේ යුද ගිනි වලින් බියපත් වුණු, ඒ කම්පනයෙන් විඳවපු, දාරක ස්නේහය උතුරා ගියපු අසරණ පීඩිත අම්මා කෙනෙක්.ඒ අම්මාට පුළුවන් වුණා නම් ප්‍රේක්ෂකයින්ගේ හිතට කම්පනයක් ලබාදෙන්න ඒක මට විශාල සතුටක්.
සුර අසුර ටෙලි නාට්‍යය ගැනත් කතා නොකරම බැහැ.
ඔව්.මේ නාට්‍යය බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ අධ්‍යක්ෂණයක්.ඔහු මාත් සමඟින් මෙම නාට්‍යය පිළිබඳව සාකච්ඡා පවා කළා. නවකතාවේ තිබුණු මුළු කතාවම ටෙලිනාට්‍යයක් සඳහා යෝග්‍ය වුණේ නැහැ. ඒ නිසා සමහර සිදුවීම් වෙනස් කරන්න සහ අතහරින්න සිද්ධ වුණා. ඒ කතාව පුරාම තිබුණේ ජනවාර්ගික අර්බුදය සහ එයින් පීඩිත වූ මිනිසුන්ගේ ජීවන කථා. හරිම ලස්සන හැඟීම්බර ටෙලි නාට්‍යයක්. මටත් මගේ ජීවිතයේ කවදාවත් අමතක නොවන ටෙලි නාට්‍යයක්. මට මෙම ටෙලි නාට්‍ය රූගත කිරීමේදී ද්‍රවිඩ ජාතිකයින් හුඟක් ඇසුරු කරන්න ලැබුණා. ඒ අය කොයි වගේද ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් මොන වගේද කියන එක මම ඒ තුළින් හොඳීන් හඳුනාගත්තා.ඒ වෙනකොටත් යම් යම් සිදුවීම් නිසා ලබපු අත්දැකීම් මට පෞද්ගලික වශයෙනුත් තිබුණා. ඒ හැම දෙයක් ම මේ ටෙලි නාට්‍යයේ මේ චරිතය ගොඩනගන්න මට උදව් උපකාර වුණා.මට හරියට උච්චාරණය කරන්න බැරි උණු දෙමළ වචන පවා මම අහගත්තේ මට එදා ඇසුරු කරන්න ලැබුණු ද්‍රවිඩ හිත මිතුරන්ගෙන්. ඔවුන්ගේ සිරිත් විරිත් ඔවුන්ගේ හැසිරීම් වගේ චරිතය ගොඩනගා ගන්න අවශ්‍ය වෙන ආකාරය හුඟක් දේවල් ඒ අයගෙන් මට නොඅඩුව ලැබුණා.
සුර අසුර ටෙලි නාට්‍ය ඉතාම සාර්ථක වුණ ටෙලි නාට්‍යයක්. ඒ සාර්ථභාවයට ප්‍රධාන හේතුවක් විදියට මම දකින්නේ මෙම නාට්‍යයට සම්බන්ධ වුණු සියලු දෙනා ම අතර තිබුණු සහයෝගීතාවය සහ එකමුතුභාවය.මේ නාට්‍යයට සිංහල අය වගේම ද්‍රවිඩ අයත් කීප දෙනෙක්ම සම්බන්ධ වුණා.ඒ හැමෝම අතර පුදුම විදිහේ එකමුතුභාවයක් තිබුණා.මේ නාට්‍යයට නඩරාජ් සම්බන්ධ වෙන්නේ මගේ හිත මිතුරු අනෙත් වෛද්‍යවරයා විදිහට.ඔහුගෙන් මට ලැබුණේ පුදුමාකාරය සහයෝගයක්.ඒක අමතක කරන්න බැහැ.ඒ වගේම මේ නාට්‍යයේ කැමරා අධ්‍යක්ෂකවරයා මේ නාට්‍යයේ උන්නතිය සඳහා විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. විවිධ දර්ශන වඩාත් තීව්‍ර කරන්න ඔහු බොහෝ වෙහෙස මහන්සි වුණා.
ජනවාර්ගික අර්බුදය කියන්නේ තිස් වසරක යුධ ගිනිත් ඉන් පසු අළු යට ගිනි පුපුරුත් සහිත සංසිද්ධියක්. ශශ්‍රී ලාංකිකයකු විදිහට ඔබ කොහොමද මේ ඇසුරෙන් නිර්මිත නිරමාණ දකින්නේ?
ඇත්තටම ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් නිර්මාණය වුණු බොහෝ නිර්මාණවලින් මේ සමාජයට විශාල මෙහෙවරක් සිදුවුණා. මිනිසුන් තුළ වෛරය, කෝපය, පළිගැනීම නැති කරලා දයාව, අන්‍යෝන්‍ය අවබෝධය, කරුණාව පහළ කරවන්න යම් පමණකට හෝ මේ නිර්මාණ දායක වුණා කියලා මම හිතනවා.මිනිසුන්ට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හිතන්න පෙලඹවීමක් මේ නිර්මාණ තුළින් ඇතිවුණා.
ඇත්තටම අදටත් මට හිතාගන්න බැහැ, මේ රටේ මේ වගේ යුදමය වාතාවරණයක් ඇතිවුණා කියලා. දෙමළ සිංහල අපි හැමෝටම ලස්සන අතීතයක් තිබුණා. අපි හැමෝම සහෝදරත්වයෙන් එකට බැඳුණු පවුලක් විදියට තමයි මේ සමාජයේ එදා ජීවත් වුණේ. මම යාපනයේත් කොළඹත් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වුණු කෙනෙක්. සරුංගලය සිනමාපටය රූගත කෙරුණේ යාපනයේදී. වෙනත් නිරමාණ කටයුතු සඳහාත් අපි යාපනයට ගිහින් තියෙනවා. අපිට එදා එහිදි කිසිම කරදරයක් උණේ නෑ. හැමෝගෙන්ම සහයෝගය තමයි ලැබුණේ. ඒ අතීතය හරිම සුන්දරයි. රාම දේවන්, යෝගාබාලචන්ද්‍රන්, රාම්දාස් වගේ ද්‍රවිඩ හිත මිතුරන් මට සිටියා. අදටත් ඔවුන්ගේ ඇසුර පිළිබඳව සිතීමේදී සිතට දැනෙන්නේ තමන්ගේම පවුලේ අය ගැන සිතනවා වගේ හැඟීමක්.
සිංහල දෙමළ භේදය කියල දෙයක් සාමාන්‍ය ජනතාව අතර එදත් තිබුණේ නෑ . ලොකු බැඳීමකින් එකම සමාජයක් තුළ ඔවුන් සහයෝගයෙන් ජීවත් වුණා. ඒක නැතිවුනේ කොතැනදීද නැති කළේ කවුද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඉන්පස්සේ උන දේවල් ගැන හිතද්දී, හිතට පුදුමාකාර දුකක් දැනෙනවා.”සිනමාස් සමාගම” සිංහල සිනමාවට විශාල සේවයක් කරපු ආයතනයක්. එහි හිමිකාරීත්වය තිබුණේ ගුණරත්නම් මහතාට.ඔහු ද්‍රවිඩ ජාතිකයෙක්. නමුත් ඔහු සිංහල සිනමාවට ලොකු සේවාවක් කරපු කෙනෙක්.පසු කාලෙක ඔහුගේ දේපළ පවා ඔහුට අහිමි වුණා.පටු මානසිකත්වයන් තිබුණු ඉතාම සීමිත පුද්ගලයින් පිරිසක් ඔවුන්ගේ තිබුණු පටු දේශපාලනික හෝ අත්තනෝමතික මතිමතාන්තර ක්‍රියාත්මක කිරීම නිසා අපේ රටේ යුද ගිනි දැල් ඇවිලුණා. මට මතකයි සාගරයක් මැද සිනමාපටය රූපගත කරද්දිත් සරුංගලය සිනමාපටය රූපගත කරද්දිත් ගාමිණී ෆොන්සේකා මේ අනාගත ව්‍යසනය පිළිබඳව අනතුරු ඇගෙව්වා.ඔහු කිව්වා එදා තිබුණු ඒ තත්ත්වය මත අනාගතයේදී මේ දේවල් මෙහෙම වෙයි කියලා. ඒවා ඔහුගේ ඔළුවට කොහෙන් ආවාද කියන්න මම දන්නේ නැහැ. නමුත් පසුකාලීනව ඔහු කියූ දේවල් ඊටත් වඩා දරුණු විදිහට ලංකාව ඇතුලේ සිද්ධ වුණා. ඒ පිළිබඳව මතක් කරන්නවත් මම කැමති නැහැ. ඒ පිළිබඳව මට තියෙන්නේ දරා ගත නොහැකි දුකක්. කාලයේ අපේ පාසල් ඇතුලෙත් අපි හරිම සහයෝගයෙන් තමයි ජීවත් උනේ.අපේ ඇතැම් මිනිසුන්ගේ තිබූ වැරදි සිතිවිලි නිසා තමයි ජනවාර්ගික අර්බුදය නිසා ඇති වුණායි කියන ප්‍රශ්නවලට රටේ දරු මුනුබුරන්ටත් පසුකාලීනව දඬුවම් විඳීන්න සිදු වෙලා තියෙන්නේ.ඒක මම බය නැතුව කියනවා.
මුල් කාලයේ සිටම විවිධ ශානරයේ චරිත නිරූපණය කළ ඔබ පසු කාලීනව දෙමළ කාන්තාවන්ගේ චරිත නිරූපණයට සීමා වුණා යැයි සිතනවාද?
නැහැ. කවදාවත් මට එහෙම දෙයක් දැනිලා නැහැ.ඇත්තටම සිනමාවේ වගේම ටෙලි නාට්‍යවලත් මට විවිධාකාරයේ චරිත නිරූපණය සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා.සමහර චරිත අහසයි පොළොවයි වගේ හරිම වෙනස්.නමුත් මොන හේතුවක් නිසාද දන්නේ නැහැ මම නිරූපණය කළ දෙමළ චරිත ප්‍රේක්ෂකයින්ගේ සිත්වල නොමැකෙන ලෙස සටහන් වෙලා තියෙන බව මටත් තේරෙනවා.ඒ චරිත තුළින් ප්‍රේක්ෂකයින්ට බොහොම සමීප වෙන්නත් මට හැකියාවක් ලැබුණා. ඇත්තටම සමහර අය හිතන් ඉන්නේත් මම ද්‍රවිඩ ජාතික කෙනෙක් කියලා. සමහර විට ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න ඇත්තේ මම අඳීන පලඳීන විදිහ වෙන්න ඇති. මම හරිම කැමතියි ද්‍රවිඩ විදිහට අඳීන්න පළඳීන්න. මගේ අම්මත් එහෙම තමයි ඇන්දේ. මම හිතනවා මටත් ඒක ගොඩක් ගැළපෙනවා කියලා. සමහර අය මගෙන් අහලත් තියෙනවා ඇයි එහෙම අදින්නේ කියලා. මට කිසිම වර්ග භේදයක් නැහැ. මට ගැළපෙන මට ලස්සන දේවල්වලට මම කැමතියි.
වේදිකාව හැරුණු කොට වෙනත් කලා කටයුතුවලට ඔබ මේ දිනවල සම්බන්ධ වෙලා නැද්ද?
ඇත්තටම නැහැ. මේ දවස්වල ටිකක් විවේකයෙන් තමයි මම ගත කරන්නේ.මම හිතනවා ආසාවෙන් හිටපු චරිත හැම එකක්ම මේ වෙනකොට මම කරලා තියෙනවා කියලා; අලුතින් කරන්න කියලා දෙයක් නැහැ. ඒ වගේම අපිත් එක්ක රඟපාපු හුඟක් අය දැන් ජීවතුන් අතරත් නැහැ. අදටත් රූපගත කිරීම් වලට ගියහම මට ඒ අය මතක් වෙනවා. මට ඒ වෙලාවට හිතෙනවා, මමත් ටිකක් විවේක සුවයෙන් හිටියා නම් දැන් හොඳයි කියලා. ක්ෂේත්‍රය භාරගන්න දැන් අලුත් පිරිසකුත් ඉන්නවා. අපි ඒ අයටත් අවස්ථාවක් දෙන්නත් ඕනේ.
ඔබ දශක හතකටත් වඩා වැඩි කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳුණු කෙනෙක්. අතීතයේ තිබූ කලා ක්ෂේත්‍රය සහ වත්මන් කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?
අද ඉන්නා නව පරපුර නම් ගොඩක් දක්ෂයි.නමුත් ක්ෂේත්‍රය නම් දැන් වෙනස් වෙලා තියෙන්නේ.ඇත්තටම කිව්වොත් අධිවේගීබවක් දැන් ක්ෂේත්‍රයේ තියෙනවා.ඒක අපිට පුරුදු දෙයක් නෙමෙයි. අපි පුරුදු වෙලා හිටියේ එක නිර්මාණයක් කරලා ඉවර වෙලා තව නිර්මාණයකට සම්බන්ධ වෙන්න.අපි එදා,අද වගේ නිර්මාණ දෙක තුනක් එකවර බාරගත්තේ නැහැ.අපි හිතුවා ඒක චරිතවලට අපි කරන අසාධාරණයක් කියලා. ඇත්තටම කිව්වොත් වෙන්න ඕනෙත් ඒක කියලා මම හිතනවා. මොකද නාට්‍යයෙන් නාට්‍යයට චරිත වෙනස්නේ. එතකොට උදේ වරුවේ එක චරිතයක් කරලා, හවස් වරුවේ ඊට හාත්පසින් වෙනස් චරිතයක් කරද්දී මං දකිනවා සාර්ථකත්වයේ අඩු බවක්.කාලය, ආර්ථිකය වගේ ප්‍රශ්නත් එක්ක වෙන්නැති මේ දේවල් මෙහෙම වෙනවා ඇත්තේ. නමුත් එහි අංග සම්පූර්ණත්වයේ අඩුවක් මට පේනවා. මේ විදිහ මට ගැළපෙන්නේ නැහැ.මම ක්‍රියාකාරී නොවෙන්න ඒකත් එක හේතුවක්.
ඇත්තටම ජැෆ්නාදරයට මම සම්බන්ධ උනේ එහි මේ දුර්වලතා තිබුණෙ නැති නිසා. එහි රූපගත කිරීම් පවා සිදු කෙරුණේ සිනමා පටයක ආකාරයට. මුළු පිටපතම අපිට කියවන්න ලැබුණා. ඒ නිසා තමන්ගේ චරිතය ගැන වගේම සමස්ත කතාව ගැනත් පුළුල් අවබෝධයක් ලබාගන්න අපිට පුළුවන් වුණා. ජෆ්නාදරය සාර්ථක වෙන්න මේ දේවල් හේතු වුණා කියලා මම හිතනවා.අද අපේ ක්ෂේත්‍රයේ නැත්තෙත් මේ වගේ දේවල්ම තමයි.හැබැයි මම හිතන විදිහට ක්ෂේත්‍රයේ දියුණුවට නම් මේ දේවල් තිබිය යුතුමයි.
ඔබේ විවේක කාලය මේ දවස්වල ගත වෙන්නේ කොහොමද?
දැන් මගේ විවේක කාලය වැඩිපුරම ගත වෙන්නේ ආගම දහමට නැඹුරුව. කවදත් මම ආගමට නැඹුරු කෙනෙක්. නමුත් දැන් මම වැඩිපුර ආගමට නැඹුරු වෙලා තියෙනවා. මගේ දෙවියන් වහන්සේ එක්ක මගේ ජීවිතයේ වැඩි කොටසක් ගත කරන්නයි දැන් මගේ උවමනාව. ඉස්සර මට පල්ලි යන්න පුළුවන් වුණේ ඉරිදාට විතරයි. ඒ මම ගත කරපු කාර්යබහුල ජීවිතය නිසා. නමුත් දැන් මගේ ජීවිතයේ කිසිම කලබලකාරී බවක් නැහැ; අමතර වැඩ නැහැ. දැන් මම ජීවිතය විඳීමින් ඉන්නේ. ඒ නිසා නිතරම පල්ලි යන්න යාඥා කරන්න මගේ දෙවියන් වහන්සේට තව තවත් සමීප වෙන්න දැන් මට අවස්ථාවක් උදාවෙලා තියෙනවා. මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. දැන් මගේ හිත හරිම සැහැල්ලුයි. මගෙන් ක්ෂේත්‍රයට හෝ ලෝකයට වෙන්න තිබුණු හුඟාක් යුතුකම් මම දැන් ඉෂ්ට කරලා තියෙන්නේ.ඒ නිසා සැහැල්ලුවෙන් සතුටින් දැන් මගේ විවේක කාලය ගත කරන්න පුළුවන් කියලා මම හිතනවා.
පිටපත : ප්‍රියංවදා පෙරේරා