නන්දා මාලිනි ගිනි තියපු ගායිකාවක්ද?
නන්දා මාලිනියගේ හඬ කියන්නේ මම කැමතිම හඬක්.....
හේතුව තමා ඇයගේ හඬේ තියෙන හදවතේ ගැඹුරටම හැඟුම් දනවන ළයාන්විත විලාප ස්වරය.
සැබැවින්ම ඇගේ හඬ පෞරුෂය කියන්නෙම ලාංකික සංගීත ක්ෂේත්‍රයේ ස්ව අනන්‍ය ස්වර්ණවත් මුද්‍රාවක් .
ඒත් ඊයේ පෙරේදා දවසක සමාජ ක්‍රියාකාරිනියක් ලෙස පෙනී සිටි කාන්තාවක් නන්දා මාලිනියට ලොකු දෝෂාරෝපණයක් කළා.
ඈ ගැයූ රැඩිකල්වාදී විමුක්ති ගී ශිෂ්‍ය භීෂණය අවුළුවාලීමට ප්‍රබල හා සෘජු සෘණාත්මක දායකත්වයක් සැපයූ බවට ඇය සෘජුවම දොස් නැගුවේ දෑතින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ගීතය ගැනත් විශේෂයෙන් සඳහන් කරම්න්.
සැබැවින්ම රුසියානු සාහිත්‍යය රුසියානු විප්ලවයට සරු බිමක් හැදුවා.
වී. අයි ලෙනින් කීවේ සාහිත්‍යයෙන් විප්ලවයට අවැසි ජන විඥානය සකස් කරන්න කියලා.ඒත් කවදාවත් ලංකාවේ සාහිත්‍යයකට කලාවකට පුළුවන් වුණේ නෑ එහෙව් මානවවාදී විප්ලවයක් උදෙසා ද්වාරයන් විවර කරන්නට.....
නන්දා මාලිනියට එරෙහි ඒ නිර්දය විවේචනයට හුඟාක් අය විවිධ උත්තර දීලා තිබුණා.
ප්‍රවීණ ගී පද රචක සාහිත්‍යවේදී රත්න ශ්‍රි විජේසිංහයන්ගේ දියණිය සම්මානි විජේසිංහ දුන් උත්තරය
රම්‍ය සඳ කිරණක් වූ ගී ලොවෙහි අම්මා..
මෙලොව පහළ වූ මිහිරි ස්වරයකට ඉමිහිරි ගී සවන් මත තවරන්නට හැකි වේ නම්.
ඇයට රන් ස්වරය වන්නට හැකි වේ නම්
මුළු රටක් සනහාලන රම්‍ය සඳ කිරණක් වන්නට වේ හැකි නම්.
ඇයට ගී ලොවෙක අම්මා වන්නට හැකි නම්.
එය කෙතරම් වාසනාවක් ද, පුණ්‍යවාසනා ගුණයක් ම නොවේද?
එබඳු මධුර වූ රන් ස්වරයක් ගැන යි මේ වියමන.
ඈ නම්න් ආචාර්‍ය නන්දා මාලිනියයි ..
අපේ ගී ලොවෙහි මාතෘ ගායිකාවය...
මා එසේ කියන්නේ ඇගේ හඬෙහි ඇති මවු ගුණය නිසාමය..
ඉතාමත් දුලබ මධුර හඬකට ඇය හිමිකම් කියන්නීය..කිසිදු විටෙක ස්වරයක් හෝ ගීතයක වචනයක් ,අකුරක් නොවරදින්නට තරම් වගවීම ඈ සතු සුවිශේෂි බවකිය.භාවපූර්ණ රම්‍යතාව ගිතය පුරා වසාගන්නේ රසික සහෘද සිත් ඒකාත්මික කරමිනි. ගිතයකින් රමණීයත්වය පමණක්ම නොව ඈ අප රැගෙන ගියේ එහි සාරය, ගැඹුර සහ මුදුනයි.
ඒ ඇය විසින්ම සිය උත්සාහයෙන් ම ගොඩ නගා ගත් අනන්‍යතාවයි. නැතිනම් ඇගේ ලකුණයි.
එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය.
පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු ‘කොටහේනේ කෝට් බාසුන්නැහේ’ ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.
මිනිසුන්නේ ඇහේ කඳුළු වලට වඩා හදවතේ කඳුළු බරය. ඒවාට ඇති ධෛර්‍යය, ශක්තිය, විසල් ය. නන්දාට ද එකී ධර්මතාවයන් වලංගුය.
එහෙත් ඇගේ හිතේ කඳුළු වඩා බර වූයේ සිය පියා මේ සියළු ජීවන බර ඉසිලීමය..දූවරුන් ගේ ලෝකය තාත්තා ගෙන් පිරෙන්නේ පැටි වියේ සිටය. තාත්තා නම් ලෝකයට තවත් නමකිය. වීරත්වයත්,ගෞරවයත් මුසුව හදෙහි ඇති ආදරය භක්තිය බවට පෙරලෙන්නේය. මේ ධර්මතාවයට නන්දා ද යට වූවා ය.
ඇගේ ගෙදර" බුදුන් සේ හදෙහි වූ රුව තාත්තාය.
ගී මගෙහි මං ලකුණු, ස්වර මත යන එන අයුරු කියා දෙන්නට ඇයට බොහෝ ඇඳුරුතුමන් ලා සිටියාය.
එසේ වතදු, ඇගේ ජීවිතයේ සියලු රිද්මයන් වචනාර්ථයන් ඈ කරා රැගෙනා ආ ගුරුවරයා තාත්තා ම පමණකිය.
"‘මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. "
මේ ඈ විටෙක පැවසූ වචන කිහිපයක්. සිය පියාණන් ගැන.
ඈ තුළ ගිලී තිබූ ඒ හිතේ කඳුළු වීර්‍යවන්ත බව සහ උත්සහය මත ජීවිතය ජීවත් කරන්නට මහත් වූ ධෛර්‍යයක්ම වූයේ ය.
නන්දා මාලිනි ය අකුරු කරන්නට ගියේ සිය නිවස අසල ම පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය.
මේ මියුරු කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී ,කවි කියන නන්දා මාලිනී ‘හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන’ බව පසක් කළාය.
නන්දා දීප්තිමත් අනාගතය ගැන මැනවින් දැනගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. ‘මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා’ ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. ‘බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්…..’.ගීතයයි.
ගුවන් විදුලියෙන් ඇගේ මධුර ස්වරය ඇසෙන්නට විය.
නන්දා මාලිනියගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය එක්දහස් නවසිය හැට දෙකේදීය.
ඒ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය කීමට ය.
ඈ තුළ පණ්ඩිත් අමරදේවයන් කෙරෙහි ඇති ඒ ගෞරවාදරය මහත් ය. එදා කුඩා නන්දාට ඒ දුන් ඉඩහසර මුළු මහත් දේශයක ට සිහිල් දියවරක් ම විය.
එබඳු මිණි රුවනකගේ ගුරු ඇසුර ලබන්නට තරම් ඈ කෙතරම් භාග්‍යවන්තියක් දැයි මට සිතුණු වාර අපමණ ය.
ඇයට එම ගීතයට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඇය කරා සම්මාන උල්පතක් පහළ විය.ජනපති සම්මාන,10 ක් ද, සරසවි සම්මාන 12 ක් ලබන්නට තරම් ඈ භාග්‍යවන්ත වූවාය.
එපමණක්ද නොව, සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
රටක සමාජ, දේශපාලන විසංවාදී සමයක ඊට එරෙහිව ඇගේ හඬ මුවහත් වූවාය.හඬ අවිය බවට පත් වූවාය. ඇය සත්‍යයේ ගීතය ගැයුවා ය.
ඒ හඬ අතැර ගිය කෙනෙක් එකල නොවූවේය.
ඇය දැන් සිය ජීවිත කාලයේදී පූර්ණතාවය ට පැමිණ සිටින්නීය. සියල්ල දිනා අවසන් ය.
දින,සති,මාස,ගණන් ගෙවී ගියද මේ විසල් ගැහැණිය ගැන ලියා හමාර කරන්නට නොහැකිය. එතරම් ම දිගු මෙහෙවරකිය, ගැඹුරකිය, වටිනාකම් ය.
නන්දා මාලිනිය සෘජුය, එහෙත් අවැසි තැනට නම්‍යශීලී ය, ඇගේ ඥානනය කිරීමේ පරිචය පෘථුලය, කොටින් ම රූස්ස ගසකි.
මට නන්දා නැන්දා මුලින්ම හමු වන්නේ කොග්ගල පහන් වැටේදීය.
මා ඈ කරා දිව ගොස් හඳහාමී කැසට් පටයේ ගීත ගැන කියා . ඇයට ඒ සියලු රස හරයන් ට එහා ගිය මගේ ස්නේහය තැවරුවෙමි.
එදා සිට මේ දක්වා එහි කිසිදු වෙනසක් නොමැත.
ඈ ගැයූ ගී බොහෝය.ඒවා අතිරමණීය වේ.එය අවිවාදිතය.ඒවායෙහි බහුලව තවරා තිබුණේ ශ්‍රැති රම්‍ය පද භාවිතය .ප්‍රසාද ගුණ පිරී තිබීම් ය. ඒවා රසවතුන් ගැඹුරු චින්තන ලෝකයක් කරා ගෙන යෑමට සමත් වීය තවද වින්දන මූලය ද භාෂාව තුලින් මතුවීම ද අපූරු වේ.එයට හේතු වන්නේ ඇයගේ මධුර ශබ්ද අනූන නිධානයක් වීම විය යුතුය .භාෂාව තුලින් මතු කරන සංගීතය ක් මතු කරමින් වින්දනමූලය සොබාදහම මත තබමින් ද බොහෝ විට රසය මවයි.කෙසේ වෙතත් උසස් ගීත සම්ප්‍රදායක් සඳහා බස් වහර තුළ ඇති කවිය අවබෝධ කොට ගත යුතු බව යි මගේ හැඟීම.
නන්දා මාලිනිය මෙකී සියල්ලෙහිම හේතූන් සපුරා ඇත්තීය.
ඇය බසෙහි ඇති රම්‍යතාව පමණක් නොව අර්ථපූර්ණ බවද..පද අතර ඇති කාව්‍යමය රිද්මයද හොඳින් හඳුනන්නීය. එය කෙතරම් භාග්‍යයක් ද?
අප කෙතරම් භාග්‍යවන්තද? ඒ සියල්ලෙහි රස හරය විඳින්නට තරම්.
ඇගේ ගීත සියල්ලටම මම කැමතිය, ආදරය කරමි. ඒ සියල්ල අතුරින් මම නිතර හදවතෙහි බහාලූ ගීතයක් වීම්.
මගේ ජීවන ලාලසය ඒ හරහා වඩන්නේය. අරමුණෙහි තබන්නේය..
මා සිතන්නේ ඇය ගැන මේ ගීතය ප්‍රමාණවත් ය.
ඇය පිපුණේ ද අපේ වියළි හදවත් හී වැස්සක් වන්නටමය...
වහින්නට හැකි නම් ගිගුම් දී..
වියලි ගම් බිම් වලට ඉහළින්..
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොයිදෙන පැළක රහසින්..
රැදෙන්නට හැකිනම් ළමා කැළ..
හඬන දෙතොළඟ සිනාවක් වී..
පිපෙන්නට හැකිනම් තුරින් තුර..
නෙළා ගත හැකි වන මලක් වී..
නිදන්නට හැකිනම් දෙනෙත් තුළ
සබෑවන සුභ සිහිනයක් වී..
ගැයෙන්නට හැකිනම් දොරින් දොර
ලොවම පූබුදන ගීතයක් වී..
ගායනය - විශාරද නන්දා මාලනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර
නන්දා මාලිනිය යනු රටකට උරුම වූ අභිමානයයි . රටක ආඩම්බරයයි. නොමැති නම් රම්‍ය වූ සඳ කිරණයි..
ආදරණීය නන්දා නැන්දා ඔබට අපමණ සෙනෙහසින් මෙලෙස ලීවෙම්
චිරං ජීවතු ..
ආදරෙයි..
-
loadmoduleid 150