The President’s Cake
ඉරාකය යනු සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලන තන්ත්‍රය හේතුවෙන් දැඩිව විනාශයට පත් වූ රාජ්‍යයකි. සදාම් හුසේන්ගේ කුරිරුතර පාලනය නිසා ජනතාව දැඩිව පීඩාවට පත් විය. ජලය, ඖෂධ, ආහාර හිඟවීම නිසා ජනතාව කුසගින්නෙන් සහ විවිධ රෝගවලින් දුක සේ ජීවත්වන්නට සිදු විය. වර්ෂ 1979 සිට 2006 දක්වා ඉරාකය සහමුලින්ම පාහේ අඳුරු අගාධයට ඇද දැමීමට සමත් විය. සදාම් හුසේන්ගේ පාලනයේ කුරිරුබව කෙතරම් ද කියතොත් ජනතාව අන්ත අසරණ දුගීබවට මුහුණ දීමට සිදුවෙද්දි ඔහුගේ 50වැනි උපන්දිනය මහත් ඉහළින් සමරයි. ජනතාව කිලෝමීටර් ගණන් ජලය ඉල්ලා ජල බවුසර් ඉදිරිපිට පෝළිම් ගැසෙන අවධියක ඔහු අඩි දෙකක් පමණ උසින් යුත් විශාල කේක් ගෙඩියක් කපා උපන්දිනය සමරයි.
ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ උපන්දින සමරන මොහොතේ සිදුවන ඛේදවාචකයක් පිළිබඳ “The President’s Cake” ඉරාක චිත්‍රපටයේ නිරූපණය කරයි. අවුරුදු නමයක් පමණ වයසැති “ලමායි” නම් පාසල් දැරියට පාසලේ පන්තිභාර ගුරුතුමා විසින් කේක් ගෙඩියක් සාදාගෙන එන්නැයි බල කරයි. මෙම කේක් ගෙඩිය සාදාගෙන එන්නට යැයි කියන්නේ ජනපති සදාමි හුසේන්ගේ උපන්දිනය සැමරීම වෙනුවෙනි. ලමායි දරිද්‍රතාවයෙන් පෙළෙන දැරියකි. කේක් කැබැල්ලක රස කවදාවත් අත් නොවිඳී දැරියකට මෙවැනි දෙයක් උරුම වීම කොතරම් නම් ඛේදනීය සිදුවීමක්ද? පාසලේ දිවා කාලයට ඇයට කන්නට පවා හරිහැටි ආහාරයක් නැත. ඇය රැකබලා ගන්නා මිත්තණිය විසින් ඇයට දවල් ආහාරය ලෙස ලබා දෙන්නේ කුඩා ඇපල් ගෙඩියක් පමණයි. ඇගේ දවල් ආහාරය ලෙස කුසගින්න නිවන ඇපල් ගෙඩිය ද පාසලේ පන්තිභාර ගුරුතුමා විසින් සොරකම් කරයි. අමානුෂිකබව පෙරට එයි.
ලමායිගේ මුහුණෙන් අහිංසකබව වැගිරෙයි. ඇගේ සුරතල් සතා කුකුළෙකි. ලමායි විසින් මිත්තණියට පවසන්නේ කේක් ගෙඩියක් සාදාගෙන පන්තියට රැගෙන යා යුතු බවයි. කේක් ගෙඩිය සැදීමට බඩු රැගෙන ඒම සඳහා ලමායි සහ මිත්තණිය නගරයට පැමිණෙයි. නමුත් සිදුවන්නේ අනෙකකි. මිත්තණිය විසින් ලමායිව ඇගේ යෙහෙළියට විකුණන්නට තැත් කරයි. ලමායි ඒ බව දැනගෙන වහා පළා යයි. ලමායි සහ ඇගේ සුරතලා වන කුකුළා නගරයේ අතරමං වෙයි. ඇගේ අත මුදල් නැත. ඇගේ අභිප්‍රාය වන්නේ කෙසේ හෝ ගුරුතුමා ගේන්නට යැයි කියු කේක් ගෙඩිය සාදා පන්තියට ගෙන යාමයි. ලමායිගේ අරගලය වන්නේ කේක් එක සාදන්න බඩු ටික සපයා ගැනීමයි.
“The President’s Cake” චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉරාක ජාතික සිනමාකරු හසන් හාඩි විසිනි. මෙය ඔහුගේ කුලුඳුල් චිත්‍රපටය ද වෙයි. 2025 වසරේ ප්‍රංශයේ පැවැත්වෙන ලෝ සුපතළ කෑන්ස් සම්මාන උළෙලේ කැමරා ඩි’ඕර් සම්මානය දිනා ගන්නට “The President’s Cake” චිත්‍රපටය සමත් වෙනවා. චිත්‍රපටය සඳහා අදහස පැමිණියේ අධ්‍යක්ෂ හසන් හාඩිට සදාම් හුසේන්ගේ පාලන කාලයේ ඉරාකයේ හැදී වැඩුණු ළමා මතකයන්ගෙනි. එහිදී සෑම වසරකම පන්තිභාර ගුරුවරයා විසින් තහඩු බඳුනක් රැගෙන පන්තියට පැමිණ ළමයින්ගෙන් ඔවුන්ගේ නමි ලියූ කඩදාසි කැබලිවල එකතු කරගෙන යයි. තහඩු බඳුනේ නැමූ කඩදාසි කැබලි අතරින් කුසපත් ඇදිමේ ක්‍රමයට අහඹු ලෙස තෝරාගෙන, නම සහිත ළමයා ජනාධිපති කේක් ගෙඩිය සකසාගෙන පන්තියට රැගෙන යා යුතුය. මෙය සත්‍ය ලෙසම ඉරාකයේ සිදු වූ තත්තවයකි.
1990 දශකය ඉරාකය යළි ප්‍රතිනිර්මාණය කිරීම සඳහා, එම කාලයේ පින්තූර සහ සාධක ඇසුරින් පසුතල නිර්මාණය සිදුකර ඇත. සිනමාපටයේ සෑම පසුබිමකම සදාමි හුසේන්ගේ සිතුවම්, පෝස්ටර්, කටවුට් ය. ඉන් හැඟෙවෙන්නේ ඒකාධිපතිත්වයේ දැවැන්ත සෙවණැලි ය. මෙම කේක් ගෙඩිය තුළින් ප්‍රේක්ෂකාගාරයට පෙන්නුම් කරන්නේ ඒකාධ්පතිවාදයේ ඇති කුරිරුබවයි. සදාචාරසම්පන්න සමාජයක අවිධිමත් බවයි. තියුණු දේශපාලනික මුහුණුවරක් සහිත අමිහිරි අවස්ථාවක් “The President’s Cake” සිනමාපටය ඔස්සේ දිගහැරෙයි.