අපේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කරන්න කාලය ඇවිත්
මේ වන විට ලෝකයේ ප්‍රබල රටවල් රැසක් ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතයට සීමා පමුණුවා ඇති අතර තවත් රටවල් ගණනාවක් ඒ සඳහා අවශ්‍ය නීති රීති සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කර ඇත. ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ලංකාවටද අවශ්‍ය බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. ඒ පිළිබඳව සහ සමාජ මාධ්‍ය භාවිතයෙන් ළමයින්ට ඇතිවෙන කායික, මානසික ගැටලු පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, දීපාල් පෙරේරා සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විට ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නීති පනවලා තියෙනවා. අපේ රටටත් එවැනි නීති පද්ධතියක් අවශ්‍යයි කියලා ඇතැම් පිරිස් කියනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ඔබ මේ කාරණය දකින්නේ කොහොමද?
අපේ රටේ දරුවන් සමාජ මාධ්‍ය භාවිතයට දැඩිව ඇබ්බැහි වෙලා ඉන්නේ. වෛද්‍යවරුන් හැටියට ළමයින් සමග කටයුතු කරන නිසා ඒ සම්බන්ධයෙන් අපිට අත්දැකීම් ඕනෑ තරම් තියෙනවා. ඇත්තටම මේක ඉතාමත් අවාසනාවන්ත සහ කනගාටුදායක තත්ත්වයක්.
ඒ නිසා දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ හෝ තහනම් කිරීමේ නීති රීති පැනවීමට දැන් කාලය එළැඹිලා තියෙනවා කියලයි මම හිතන්නේ. කොහොම වුණත් ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන් දෙස බැලූ විට දැනටමත් අපි ප්‍රමාද වැඩියි කියලත් මට වෙලාවකට හිතෙනවා.
දැනටමත් අපි ප්‍රමාද වැඩියි කියන්න හේතුව මොකක්ද?
ජංගම දුරකථනය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිතයට දරුවන් විශාල වශයෙන් ඇබ්බැහි වෙලා. කායික රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ව පරීක්ෂා කිරීමේදී රෝගය හඳුනා ගැනීම සඳහා වෛද්‍යවරයා දරුවන්ගෙන් නම, වයස, රෝගයේ වේදනාව දැනෙන අයුරු වගේ විවිධ ප්‍රශ්න අහනවනේ. ඒ වගේ අවස්ථාවලදී බොහෝ දරුවන් වෛද්‍යවරයාගේ මුහුණ දිහා බලාගෙන පිළිතුරු දෙන්නේ නෑ. ඔවුන් ඒ පිළිතුරු දෙන්නේ අහක බලාගෙන. අනෙක රොබෝවරුන් වගේ තමයි උත්තර දෙන්නේ. ඒ විතරක් නොවෙයි අපි අහන ප්‍රශ්නවලට දරුවන්ගෙන් ලැබෙන්නේ ඉතාමත් කෙටි පිළිතුරු.
ප්‍රතිකාර ගැනීමට පැමිණෙන ළමයි වෛද්‍යවරයා අහන ප්‍රශ්නවලට කෙටි පිළිතුරු දීම සහ සමාජ මාධ්‍ය භාවිතය අතර සම්බන්ධය මොකක්ද?
අද ළමයින් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ ජංගම දුරකථනය සමගයි. සමාජ මාධ්‍ය තුළින් කතා කරන පිරිස් දෙස බලාගෙන ඉන්නවා මිස දරුවා කතා කරන්නේ නැහැ. අද වන විට දරුවන්ට යහළුවන් නැති තරම්. පාසල පැවැත්වෙන වෙලාවේ විෂය කරුණුවලට හිරවීම නිසා දරුවන්ට තමන්ගේ යාළුවෝ එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. පාසල් වෙලාවෙන් පසුව ළමයින් බොහෝ දෙනෙක් ටියුෂන් යනවා. යාළුවෝ මුණගැහුණත් වුණත් කතා කරන්න වෙලාවක් නැහැ. අපි පොඩි කාලේ පාසල් වෙලාවෙන් පසුව යහළුවන් සමග ඇති තරම් සෙල්ලම් කළා. ඒ නිසා සමාජ සම්බන්ධතා ගොඩනැගුණා. ඕනෑම ප්‍රශ්නයකදී අනෙකාගේ මුහුණ බලාගෙන කතාකරන්න පුළුවන් වුණා. අපිට පරිසරය සමග බැඳිලා එකට ජීවත් වෙන්න අවස්ථාව ලැබුණට 2000 වර්ෂයෙන් පසුව ඉපදෙන දරුවන්ට ඒ අවස්ථාව අහිමි වෙලා.
සමාජ මාධ්‍ය භාවිතය නිසා ළමයින්ගේ කායික මානසික සෞඛ්‍යයට වෙන බලපෑම ගැනත් කතා කරමු?
සමාජ මාර්ග නිසා මේ වන විට වනවිට ළමයින් ප්‍රශ්න ගණනාවකටම ගොදුරු වෙලා අවසන්. මේ වෙද්දි ඔටිසම් රෝග තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. දුර පෙනීමේ දුර්වලතාවලටත් අද බොහෝ දරුවන් ගොදුරු වෙලා. ඒ විතරක් නොවෙයි පෝෂණ ගැටලු ගණනාවකුත් මතුවෙලා තියෙනවා. ජංගම දුරකථන තිරය දෙස බලාගෙන ආහාර ගන්නයි අද බොහෝ දරුවන් පුරුදු වෙලා ඉන්නේ. කන්නේ මොනවාද? කන ප්‍රමාණය කොපමණද කියලවත් දරුවන් දන්නේ නෑ. ව්‍යායාමයක් ඇත්තේම නැහැ. ඒ නිසා දරුවන් අතර ස්ථූලතාවත් වැඩිවෙලා. මේ නිසා දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, කොලෙස්ට්‍රෝල් වැනි බෝනොවන රෝග ගණනාවකටම ළමයින් ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. අනෙක දරුවන් රාත්‍රිය පුරාම නින්දක් නැතිව ජංගම දුරකථනය භාවිත කරනවා. රාත්‍රියට නින්දක් නැති වුණාම ළමයින්ට උදෑසන පාසල් යන්න නැගිටින්න බෑ. අමාරුවෙන් හරි පාසල් ගියත් ඉගෙනීමේ කටයුතු කරගන්න බැහැ නිදිමතයි. අද බොහෝ දරුවන්ට උදෑසනම අවදි වෙන්න බෑ. එහෙම වුණාම ඔවුන් බඩ රිදෙනවා, ඔළුව කැකුමයි, කන රිදෙනවා , දත කැක්කුමයි කියලා බොරු ලෙඩ පෙන්නලා පාසල් නොයා ඉන්නවා. එවැනි දරුවන් කොහොම හරි පාසල් යවන්න කියලයි අපි කියන්නේ. අද බොහෝ දරුවන්ට තරහ යනවා. ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින දරුවන්ගෙන් ජංගම දුරකථනය ඈත් කරන්න උත්සහ කළොත් ඒ අයට තරහ යනවා. එවිට ඔවුන් අධිමානසික ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන්න කටයුතු කරනවා. මෙවැනි දරුවන්ව අපි මනෝ විශේෂඥ වෛද්‍යවරු වෙත යොමුකරනවා.
ළමයි ජංගම දුරකථනයට ඇබ්බැහි වීම නිසා දැන් බොහෝ සමාජ ප්‍රශ්න ඇතිවී තිබෙන බවකුත් කියැවෙනවා...
දුරකථනය ඔස්සේ නොදන්නා පිරිස් හඳුනාගැනීම නිසා දරුවන් විශාල වශයෙන් අපයෝජනයට ලක්වෙනවා. අවසානයේදී සිය දිවිනසා ගැනීම දක්වාම ඒ තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන්. අපේ රටේ එවැනි අවාසනාවන්ත සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලයේදී වුණා. මගේ අත්දැකීම් අනුව අතීතයේදී තාත්තලා තමයි බොහෝ දුරට දරුවන්ව අතහැරලා යන්නේ. ඒත් අද වන විට අම්මලාත් දරුවන්ව දාලා යන තත්ත්වයක් නිර්මාණය වෙලා. දරුවන්ව බලාගන්නේ ආච්චි, සීයා නැතිනම් ඥාතියෙක්. මේකත් සමාජ මාධ්‍ය භාවිතයේ තවත් එක් ඛේදවාචකයක්.
ළමයින්මව්පියන් ගුරුවරුන් අතර තිබෙන යහපත් සබඳතා බොහෝ දුරට බිඳවැටිලා. මොකද ඒ පිරිස් සමග කතාබහ කරනවාට වඩා සමාජ මාධ්‍ය තුළින් සොයාගත් මිතුරන් සමග සබඳතා පවත්වන්නයි දරුවන් වැඩිපුරම කැමැති.
ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ළමා ආරක්‍ෂණ අධිකාරිය පසුගිය දවසක නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කරලා තිබුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
වයස අවුරුදු 3 දක්වා ළමුන්ට කිසිදු විද්‍යුත් උපකරණයක් ලබාදීම සුදුසු නැති බව ඒ නිර්දේශවල තියෙනවා. එය අනිවාර්යෙන්ම විය යුත්තක්. ඇත්තටම මේක නීතියක් බවට පත් කරලා ඉක්මනින්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද දරුවන්ගේ කථන හැකියාව වර්ධනය වෙන්නේ ඔය කියන වයසේදීයි. ජංගම දුරකථනයක් දෙස බලාගෙන හිටියා කියලා දරුවෙක්ගේ කථන හැකියාව වර්ධනය වෙන්නේ නැහැ. වෙන්නේ කථන හැකියාව මොටවීම පමණයි.
ඒ වගේම අවුරුදු 3–5 දක්වා දරුවන්ට ප්‍රචණ්ඩකාරී නොවන රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට පැයක වැනි කාලයක් පමණක් සුදුසු බවට නිර්දේශ කරලා තියෙනවා. අවුරුදු 6–12 වයස් කාණ්ඩයේ දරුවන්ට පැය 2ක් දක්වා ප්‍රචණ්ඩකාරී වැඩසටහන් නොවන දෑ නැරඹීමට දීම හා අවුරුදු 13–18 දරුවන්ට ප්‍රචණ්ඩකාරි නොවන වැසටහන් පැය 2ක් දක්වා සහ වීඩියෝ ගේම් සඳහා පැය භාගයක් දිය හැකි හැකි බව නිර්දේශ කරලා තියෙනවා. මේවා ඉක්මනින්ම නීතියක් බවට පත්කරලා ක්‍රියාත්මක කළොත් අපේ ළමා පරපුර බොහෝ ගැටලුවලින් මුදාගන්න පුළුවන් වගේම ඔවුන්ට අහිමි වූ බොහෝ දේවල් නැවැත ළඟා කර ගන්න හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.
ඔබ ඔය කියන කාරණාව ගැන තවත් ටිකක් පැහැදිලි කළොත්?
ළමයින්ගේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ළමා ආරක්‍ෂණ අධිකාරිය පසුගිය ඉදිරිපත් කර තිබූ නිර්දේශ හැකි ඉක්මනින් නීති බවට පත්කරලා ක්‍රියාත්මක කළොත් අපිට බොහෝ ප්‍රතිලාභ අත්කරගන්න හැකියාව තිබෙනවා.
දරුවන්ගේ මානසිකත්වය ආරක්ෂා කර දීම, දරුවන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර දීම, දරුවන්ට සොඳුරු ළමා කාලයක් ලබාදීමට හැකිවීම සහ පවුල් සංකෘතියෙන් දරුවන් ඈත් වීම අවම කිරීම, සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීම, දරුවන් අපරාධවලට යොමුවීම වළක්වා ගැනීම ඒ ප්‍රතිලාභවලින් කිහිපයක්. මෙවැනි තවත් බොහෝ ප්‍රතිලාභ ළමයින්ට වගේම සමස්ත සමාජයටම ලැබෙනවා.
ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නීති සකස් කිරීමට අමතරව ළමයින් සමාජ මාධ්‍යයෙන් මුදා ගැනීමට තවත් විකල්ප ක්‍රමවේද තියෙනවද?
සමාජ මාධ්‍යයේ අයහපත් බලපෑම ගැන මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරණයන් කරමින් දරුවන් දැනුම්වත් කිරීමට පාසල් මට්ටමින් දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකියි. මේ සඳහා විද්වත් මණ්ඩලයකගේ සහය ලබාගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මොනතරම් නීති සකස් කරලා ක්‍රියාත්මක කළත් අද දරුවන්ගේ දැනුම පුළුල් පරාසයක් පුරා විහිදිලා තියෙන නිසා ඔවුන් නීති රීතිවලින් හෝ සීමාවලින් රිංගලා ගිහින් හරි නව තොරතුරු, අලුත් අලුත් උපක්‍රම හොයා ගන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ දරුවාට අත්‍යවශ්‍ය කාරණාවකට හැර අනෙක් අවස්ථාවල ජංගම දුරකථනය නොදීමට මවුපියන් වග බලා ගත යුතුයි.
ඒ වගේම තමයි කුඩා දරුවන් නළවන්න, බත් කවන්න, කතන්දර පෙන්වන්න ජංගම දුරකථනය පාවිච්චි කරන්න එපා කියලයි අපි කියන්නේ. කුඩා ළමයින්ට කිසිම හේතුවකට ජංගම දුරකථනය දෙන්න එපා කියලා අපි වැඩිහිටියන්ට කියනවා. ඒ වගේම ළමයින් පරිශීලනය කරන සමාජ ජාල මාධ්‍ය මොනවාද සහ ඔවුන් ඒ හරහා සම්බන්ධතා පවත්වන්නේ කවුරුන් සමගද යන්න පිළිබඳව අවධානයෙන් සිටීමත් වැදගත්. ඇත්තටම කිව්වොත් මවුපියන්ට වගේම අපේ වැඩිහිටියන්ට ළමයි සම්බන්ධයෙන් විශාල කාර්යභාරයක් පැවරිලා තියෙනවා. සමාජ මාධ්‍ය භාවිතය මගින් මෙරට ළමුන්ගෙන් සියයට 24.8ක් ළමා වයසට නොගැළපෙන හැසිරීම් සහ ක්‍රියාකාරකම්වලට යොමු වෙලා තියෙන බව 2018 වර්ෂයේදී යුනිසෙෆ් ආයතනය මගින් කළ සමීක්ෂණයකදී හෙළි වුණා. ඒ විතරක් නොවෙයි සමාජ මාධ්‍යයට යොමුවන ළමයින්ගේ සාමාන්‍ය වයස අවුරුදු 13 පමණ බවත් එහිදී සොයාගෙන තියෙනවා. ඒ තුළ වැඩිහිටියන් වන අපට හිතන්න බොහෝ දේ තිබෙන බවයි මගේ අදහස.
සටහන - ශ්‍රියානි විජේසිංහ
loadmoduleid 150