මනුෂ්‍යයකුගේ දැවෙන හෘද සාක්ෂිය
අතීතයෙන් පළා යන්නට තැත් දරන මනුෂ්යයකුගේ දැවෙන හෘද සාක්ෂිය
ලතින් ඇමරිකානු කලාපය දේශපාලනික වශයෙන් ඉතා වැදගත් කලාපයකි. ලතින් ඇමරිකාව හෙවත් දකුණු ඇමරිකාවේ දේශපාලන පද්ධතියෙහි සැකැස්ම බහුල ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව සහ ජනතාව මර්දනය කරන ප්‍රවාහයක හැඩය ගන්නා බව ඉතිහාසය විසින් දරන සාක්ෂි ඕනෑ තරම් ය. ඒකාධිපතිවාදය නිසාම බොහෝ ජීවිත ප්‍රමාණයක අහිමි වීම, දකුණු ඇමරිකානු එක් එක් රටවල දේශපාලන ඉතිහාසය මැනවින් සොයා බැලු කල හඳුනා ගැනීමට හැකිය. වර්ෂ 1977 දී බ්‍රසීලය නමැති රාජ්‍යයේ පැවති හමුදා ඒකාධිපතිත්වය රජ කරන යුගයකි. එම ඒකාධිපතිත්වය මතින් නැඟි දේශපාලන කැලඹීම අතරතුර විශ්වවිද්‍යාලයක හිටපු පර්යේෂක “ආමන්ඩෝ” විසින් “රෙසිෆ් නගරය” වෙත සේන්දු වෙයි. එහිදී ඔහුගේ බාල පුතා වන ප්‍රනාන්දු තම බිරිඳගේ මරණයෙන් පසු නැන්දම්මා සමඟ ජීවත් වේ.
ආමන්ඩෝගේ ජීවිතය තුළ අම්හිරි අතීතයක් ඇත. ඔහුගේ බිරිඳ අහිමිව ඇති බව දැනෙන්නේ තම පුතා නැන්දම්මා සමඟ ජීවත්ව සිටින සිදුවීමෙනි. ආමන්ඩෝ යනු කවුද? සහ ඔහු “මාර්සෙලෝ” නමින් අනන්‍යතාවය වෙනස් කරගැනීමෙන් සමාජය තුළ පෙනී සිටින්නේ ඇයිද? යන්න ප්‍රේක්ෂකයා තුළ දැල්වෙන කුතුහලයයි. ආමන්ඩෝගේ චරිතයට සමගාමීව දූෂිත පොලිස් ප්‍රධානියකුවන යුක්ලයිඩ්ස් සහ ඔහුගේ පුතුන් වන සර්ජියෝ සහ ආර්ලින්ඩෝ විසින් අල්ලා ගත් මෝරෙකු තුළ තිබී කපා දැමූ මිනිසකුගේ කකුලක් සොයා ගැනීමට සමත් වේ. ආමන්ඩෝගේ රහසිගත ජීවිතය නිසා ම ඔහු පසුපස අදිසි හස්තයක් ලුහුබඳී. ආමන්ඩෝ අතීතය සමඟ සංහිඳීයාවකට පත්වන්නට නොහැකිවන්නේ ඇයි? ඔහු පසුපස හඹාඑන මෙම අදිසි හස්තය කුමක්ද? ආමන්ඩෝ පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරයකුව සිට වර්තමානයේ මාර්සෙලෝ ලෙස නම වෙනස් කර ගැනීමෙන් සැඟව ජීවත්වන්නේ ඇයි? මෙම සියලුම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු “ද සීක්‍රට් ඒජන්ට්” සිනමාපටය නැරඹීමෙන් සොයාගත හැකියි.
.සිනමාපටයේ නිරූපණය වන දේශපාලන පසුබිම පිළිබඳව ද යමක් සටහන් කළ යුතු ය. වර්ෂ 1964 සිට 1985 දක්වා බ්‍රසීලය හමුදා ආඥාදායකත්වයට නතු විය. එවකට ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් බ්‍රසීලයේ පාලනය සඳහා කළ අතපෙවීමේ ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලයේ හමුදාව විසින් “Joao Goulart”ගේ පාලනය පෙරළා දමන්නේ බ්‍රසීලයේ පැවති ප්‍රජාතන්ත්‍රවාද පවුරු බිඳ දමමින්. බ්‍රසීලය අරාජික තත්ත්වයට ඇද දැමීමට ඇමරිකානු රජයේ අභිප්‍රාය විය. ලතින් ඇමරිකානු කලාපය තුළ පැතිර ගිය සමාජවාදයේ බල ව්‍යාප්තය වැළැක්වීම ඇමරිකානු රජයේ ප්‍රයත්නය විය. එහි අතුරු ඵලය ලෙස කලින් පැවති රජයේ සිටි දේශපාලඥයන්, විප්ලවකරුවන් සොයා මිනිස් දඩයමක නිරත වීම චිත්‍රපටයේ දැක්වෙයි. එක් කුටුම්භයකගේ පෞද්ගලික දිවිය සහ මිලිටරි දේශපාලනය විසින් ඇති කරන මානසික පීඩනය මැනවින් සංස්කරණය කරන ලද මෙම සත්‍ය සිද්ධි දාමය හරහා ඉස්මතු කරයි
සටහන : මලින්ත විතානගේ
-
loadmoduleid 150